Saturday, February 25, 2012

විදේශ අධ්‍යාපනය - අංක 2 (කාලයත් එක්ක වඩාත්ම ගැලපෙන රට මොකක්ද)



ලංකාවේ ඉන්න ගොඩක් අය කැමති ඇති පිටරටකට ගිහින් ජීවිතේ පටන් ගන්න. වැරදියට තේරුම් ගන්න එපා, අපේ සමාජයේ තියන සමහර ප්‍රශ්න, වැඩිවෙන ජීවන වියදම වගේ දේවලුත් එක්ක අපේ ගොඩාක් අය කල්පනා කරන දෙයක් තමයි පිටරටකට ගිහින් ජීවිතය ආපහු පටන් ගන්න තියනවා නම් කොයි තරම් හොදද කියලා. එක අතකින් ඒක අපේ අයගේ ආකල්පවල වැරද්දක් නෙමෙයි. මුල්කාලයේදී බොහොමයක් එහෙම පිට රටවලට ගිය අයට ඒ රටවල ස්ථීර පුරවැසිභාවය වගේ අවස්ථා බොහෝම පහසුවෙන් ලබාගන්න හැකියාව ලැබුනා. ඉතින් ඒ අයගේ ජීවිතවල ඇත්තටම යම් විදියක දියුණුවක් (මම මේකෙන් අදහස් කරන්නේ බොහෝවිට ආර්ථිකමය පැත්තයි) ලබාගෙන තියනවා කියලා මම අත්දැකීමෙන් දන්නවා.


 මගේ වයස දැන් අවුරුදු 26 යි. ඒ කාලේ මාත් එක්ක රස්තියාදු ගහපු, බීපු, ගහගත්තු යාළුවන් කීප දෙනෙක්ම මේ වෙද්දී කැනඩාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව වගේ රටවල් ස්ථීර පුරවැසිභාවය ලබලා අවසන්. හැබැයි ඒ වෙනුවෙන් ඒ අය අවුරුදු 3ක්, 4ක් වගේ කාලයක් ගත කළා. ඉගෙනගත්තා, ඒ අතරතුර පුංචි පුංචි රැකියාවන්වල (part time jobs) වගේම, නීත්‍යානුකුල අමතර රැකියාවෙන් ලැබෙන මුදල් මදි වුනාම අතට සල්ලි ගෙවන ටිකක් කටුක රස්සාවල (Cash on the hand jobs) වලට වුනත් යොමු වුනා. මොකද ප්‍රශ්නය තමයි අවුරුදු දෙක තුනක පාඨමාලාවකට ඒ රටට යන ශිෂයෙක්ට මුහුණ දෙන ප්‍රධානම ගැටළුවක් තමයි මේ ඊලග කාර්තුවට (semester) පාඨමාලා ගාස්තුව (course fee) එක සොයා ගැනීම. මේදේ බොහෝ දුරට නිත්‍යානුකූලව ලැබෙන පැය 20 ක වගේ කාලයකින් ඉෂ්ට කරගන්න නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි බොහෝ දෙනෙක් මේ අතට මුදල් ගෙවන රැකියාවලට යොමුවෙන්නේ. හැබැයි අද මාතෘකාව ඒ ගැන නෙමෙයිනේ. ඒ නිසා ඒ ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් ඊලග ලිපියකින් කරන්නම්.


දැන්  මම කියාගෙන ආපු විදියට මගේ යාළුවන් මේ විදේශ අධ්‍යාපනය තෝරා ගන්නා කාලෙදී තිබ්බේ මීට වඩා විවෘත, සරල වීසා නීතී සහිත පරිසරයක්. මොකද බොහොමයක් රටවල් තම තමන්ගේ වීසා නීති (visa rules) සංකීර්ණ කරන්නේ තමන්ගේ රටට පැමිණෙන සංක්‍රමණිකන් සීමා කරන්න අවශ්‍ය වුන විටදියි. ඒ නිසා කාලෙන් කාලෙට රට රටවල වීසා නීතී සරල කිරීමත් නැවත සංකීර්ණ කිරීමත් දකින්න පුළුවන් තත්වයක්. මේ තත්වයට මම හොදම උදාහරණය විදියට දක්වන්නේ එක්සත් රාජධානියයි (UK). මේ තමයි ලෝකයේ අන්තර්ජාතික අධ්‍යාපනය තමන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයක් කරගත්තු ප්‍රධානතම රට. මට මතකයක් තියනවා 2006 හා 2007 වගේ වසර වලදී තිබුනා ඉතාම දැඩි වීසා නීතී මාලාවක්. උදාහරණයක් විදියට ගත්තොත් මාස 6 ක පමණ මුල්‍යමය විස්තර (financial history), තමාගේ වත්කම් වලට අදාළ මුලාශ්‍ර (source of income) හා IELTS විභාගයේ ලකුණු මට්ටමද ඒ කාලයේ සලකා බැලුනා. ඒ කාලයේ ගොඩාක් ආසියාතික ශිෂ්‍යන්ගේ තේරීමක් වෙලා තිබුනේ ඔස්ට්‍රේලියාවයි.


ඔන්න ඉතින් 2008 වෙද්දී බ්‍රිතාන්‍යයට ඉදිරියට එන ඔලිම්පික් උළෙල සදහා මුදල් අවශ්‍යතාව තදින් දැනීගෙන ආපු කාලයක්. ඉතින් ඔවුන් තීරණය කළා මෙච්චර කල් තිබුන සංකීර්ණ වීසා නීතී ඉවත් කරලා අන්තර්ජාතික ශිෂ්‍යන්ට පහසුවෙන් බ්‍රිතානයට එන්න අවස්තාව ලබා දෙන්න. මෙච්චර කාලෙකට මේ කේෂේත්‍රයේ පනවපු මේ ඉතාම සරල වීසා නීතියක් එක්ක දස දහස් ගණන් විදෙස් ශිෂ්‍යන් බ්‍රිතාන්‍යය තමන්ගේ ගමනාන්තය විදියට තෝරා ගත්තා. කොහොම හරි මේ ලාබදායික ව්‍යාපාරයෙන් පවුම් බිලියන ගණනක් උපයා ගත්තා. හැබැයි මේකෙන් බ්‍රිතාන්‍යයට වාසි වගේම අවාසිත් ඇතිවුනා. 2011 මැදදී මේ තිබුන වීසා නීතිය නැවතත් සංකීර්ණ කෙරුවත් ඒ වන විට බ්‍රිතාන්‍යය විවිධ රටවලින් සංක්‍රමණය වුන විදේශ ශිෂ්‍යයන්ගෙන් පිරී ඉතිරී ගිහින් තිබුනා. මොකද මේ අධ්‍යාපනය ඒ වෙද්දී අවසන් කරපු ශිෂ්‍යන්ව වුනත් එහෙම දවසින් රටින් එලියට ඇදලා දාන්න ඔවුන්ට හැකියාවක් නෑ. ඒ ශිෂ්‍යයයිනුත් උත්සහා කරන්නේ තමන්ගේ අධ්‍යාපනයට වියදම් වූ මුදල කෙසේ හෝ ඒ රටේදීම යලි උපයා ගන්නයි. ඉතින් ඔවුන් විවිධ මාර්ග වලින් උත්සහ කරනවා බ්‍රිතාන්‍යයේ ශ්‍රම බලකායට එක්වන්න. නීත්‍යනුකුලව හෝ නීතියට පිටින් හෝ. මේ තත්වය බ්‍රිතාන්‍යයට දැන් මහා ප්‍රශ්නයක් වෙලා ඉවරයි, හරියට බ්‍රිතාන්‍යය දැන් ඉන්නේ පුපුරන්න තියන වෙඩි බේත් කන්දක් වගේ. ඒ නිසා මම කීයටවත් අපේ රටේ ඉන්න කිසිම ශිෂ්‍යයෙක්ට බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය සදහා යෑම අනුමත කරන්නේ නෑ.


ඊලගට  බලමු ඔස්ට්‍රේලියාව ගැන. ඇත්තටම ඔස්ට්‍රේලියාව කියන්නේ සංක්‍රමණිකයන් සදහා විවෘත ලෝකයේ හොද පිලිගැනීමක් තියන රටක. බ්‍රිතාන්‍යය වගේඅධ්‍යාපනය කියන දේ වවාගෙන කන ව්‍යාපාරයක් වශයෙන් නොසලකන් ඒත් වඩාත් වැදගත් විදියට මේ කේෂේත්‍රයේ බ්‍රිතාන්‍යයත් එක්ක කරට කර ඉන්න රටක තමයි ඔස්ට්‍රේලියාව. සරල නොවුනත් පැහැදිලි වීසා නීතී පවතින ඔස්ට්‍රේලියාව කාලයක් ලංකාවේ ශිෂ්‍යන් අතරත් වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්වෙලා තිබුනා. දැනට උනත් මේ සංකීර්ණ වීසා නීතී රීති වලට ගැලපෙන ශිෂ්‍යන් වෙනුවෙන් මම කිසිම පැකිලීමකින් තොරව අනුමත කරන රටක තමයි ඔස්ට්‍රේලියාව.


මගේ ක්ෂේත්‍රයේ හැටියට කාලෙන් කාලෙට මගේ ප්‍රියතම වගේම මම රෙකමදාරු (recommend) කරන ප්‍රධානම රටක තියනවා. මේ රට මම තීරණය කරන්නේ මෙන්න මේ පහත තියන කරුනුත් එක්කයි.


1. දැනට ඒ රටේ පවතින වීසා නීතියේ සරල හා සංකීර්ණ බව වගේම පැහැදිලි නීතිමය කරුණු හා රෙගුලාසි


2. වීසා ලබා ගැනීමේ විශ්වාසනීයත්වය (ඒ කියන්නේ සමහර රටවල් තියනවානේ වාසනවා උඩ වීසා ලැබෙන, ඔය බ්‍රිතාන්‍යය වගේ)


3. බොහෝ දෙනෙක් විමසන අධ්‍යාපනයෙන් පසු රැකියා හා ස්ථීර පුරවැසිභාවය වෙත යොමු වීමේ පහසුව (මීයක්‌ කඩන්නේ අත ලෙවකන්න නෙමෙයිලුනේ)


4. විදේශීය ශිෂ්‍යන්ට ඒ රටේ පවතින වාතාවරණය හොදද නරකද කියන කරුණ.


මේ  දේවල් සලකලා තමයි මම බොහෝවිටදැනට මම ශිෂ්‍යන් සදහා රෙකමදාරු (recommend) කරන ප්‍රධානතම රට තෝරා ගන්නේ.


හරි  එහෙනම් බලමු දැනට මම ඉදිරියේදී උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වෙන්න අදහස් කරන අය වෙනුවෙන් රෙකමදාරු කරනගැලපෙනම රට මොකක්ද කියලා.


ඒ තමයි නවසීලන්තය (New Zealand). ලෝකයේ එක කෙරවලක පිහිටි මේ බොහෝම නිස්කලංක රට මේ වෙද්දී ලෝකයේ විවධ රටවලින් පැමිණෙන විදේශීය ශිෂ්‍යන්ගේ ප්‍රධානතම තෝරා ගැනීමක් වෙලා තියනවා. ලගදී ඇතිවෙච්ච මේ නවසීලන්ත අධ්‍යාපන ප්‍රබෝධයට මුලිකම හේතුවක් වුනේ මේ වෙනකන් ලේසියෙන්ම යන්න පුළුවන් සුරපුරයක් (ඔය ඉතින් ලංකාවේදී හිතන හැටි තමයි) වෙලා තිබුන බ්‍රිතාන්‍යයේ දොරටු ටිකෙන් ටික වැහිලා යෑම.


ඉතින් මේ වෙද්දී අළුතින් යම් රටක තමන්ගේ ජීවිතය පටන් ගන්න කැමැත්තෙන් ඉන්න බොහොමයක් අයට ගැලපෙන රට බවට නවසීලන්තය පත් වෙලා තියනවා. 


අනිකුත් රටවල් එක්ක සසදද්දී නවසීලන්තය අපිට වඩාත් ගැලපෙන්නේ ඇයි කියලා මම ඊලග ලිපියෙන් කියන්නම්.

Thursday, February 23, 2012

විදේශ අධ්‍යාපනයට අයදුම් කිරීම - අංක 1 (අවංක උපදේශන සේවාවක්)

ඔන්න එහෙනම් අදත් පටන් ගත්තා වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වීම එහෙමත් නැත්නම් අපි කියන විදියට ඉගෙන ගන්න රට යෑම ගැන කතා කරන්න. කලින් පොස්ට් එකෙන් මම කිවුවානේ ලංකාවේ බොහොමයක් පිරිස (ඔන්න මේ කිවුවේ සමස්තය ගැනම නෙමෙයි හොදද) කොහොමද මේ දේ කෙරෙහි උනන්දුවක් ඇතිකර ගන්නේ, කොහොමද මේ දේට යොමු වෙන්නේ කියලත්. එහෙනම් අද කියන්න බලාපොරොත්තු වෙනවා දැනට ලංකාවේ මහා පරිමාණයෙන් කෙරෙන 'විදේශීය උසස් අධ්‍යාපනයට මාර්ගෝපදේශනය', අපිට තේරෙන සිංහලෙන් නම් ඉතින් "Educational Migration Consultancy' කියන ගරු ගාම්භීරව කියවෙන ව්‍යාපාරය ගැන පුංචි පුංචි විස්තර ටිකක් කියන්න.




මම  කියන්නම් පෙරේදා මම ලබපු අත්දැකීමක් ගැන මුලින්ම. අවුරුද්දේ මුලින්ම අයදුම් කරපු වීසා දෙකත් සාර්ථක වීමේ ප්‍රීතියෙන් ගෙදරට වෙලා ඉන්ටර්නෙට් එකේම එල්ලිලා ඉන්න මම හිතුවා පොඩ්ඩක් පාරට බැහැලා ඔය Consultancy firms දෙක තුනක් පැත්තේ වැදිලා දැන් රට යවන ව්‍යාපාරේ අලුත්ම තතු විත්ති හොයන්න. ඇත්තටම කිවුවොත් ඒකම නෙමෙයි ඕන්. අළුතෙන් මාර්කට් වෙන රටවල්, කොලේජ්, මම නොදන්න අළුතෙන් එන විස්තර හොයා ගැනීමේ අරමුණෙන්.


ඔහොම යන්න කල්පනා කරපු මම වැඩි දුරක් නොයා ගෙවල් ලගම ගාලු පාරේ තියන මේ වගේ ආයතනයකට ගොඩ වුනා. අනේ අප්පේ හරිම සිරියාවන්ත ඔෆිස් පොඩ්ඩ. පොඩ්ඩක් කිවුවාට පොඩ්ඩකුත් නෙමෙයි ඇතුලට ගිහින් බලද්දී. ඔන්න ඉතින් එතනට ගිය ගමන් මගේ අතට දුන්නා ෆෝම් එකක් පුරවන්න ඒකෙ තියනවා. නම, වයස, දුරකථන අංක, ලිපිනය, අධයාපනික සුදුසුකම්, යන්න කැමති රට, කරන්න කැමති විෂය ක්ෂේත්‍රය වගේ දේවල්. හැරී ඉතින් එකත් පුරවලා එකත් එක්ක දුන්න ෆයිල් කවරය බලද්දී තේරුණා ඇත්තටම මේ මනුස්සයෝ මේ දේට මොන තරම් ලොකු වියදමක් කරනවාද කියලා. ෆයිල් කවරය, විස්තර අඩංගු පුංචි පොත, කැලැන්ඩරය මේ සේරටම මම හිතන්නේ රුපියල් සීයක්වත් වෙන්න ඕනේ. හොදට ඒ සී කරපු ඔෆිස් එකක ඉන්න උපදේශක නෝනලාගෙන් කෙනෙක් ඉතින් මට රට යන විදිය බොහෝම කරුණාවෙන් මට පැහැදිලි කළා.  අඩුම තරමින් ඒ වගේ නෝනලා ඉන්න කාමර තුනක්වත් ඒ ඔෆිස් එක ඇතුලත තියනවා කියලයි මට පෙනුනේ.


සේරම හොදට කෙරුණත් මට පුංචි හැරී වැරැද්දකට පෙනුන එක දෙයයි ඒ තමයි ආපසු නොගෙවන රුපියල් 25,000 ක ලියකියවිලි සැකසීමේ ගාස්තුවක් (Documentation fee) එකක් අය කිරීම. හැබැයි ඒ මනුස්සයන්ගේ වියදම්වල හැටියට ඒක වැරද්දක් කියන්නත් බෑ. මොකද මම ගන්න හදලා බලපු විදියට ඒ වගේ පවත්වාගෙන යන තැනක දල වියදම මාසිකව රුපියල් ලක්ෂ තුනකට ආසන්න වෙනවා. සේවක පඩිනඩි, ආයතන පරිශ්‍රයේ කුලිය, මාසික ප්‍රචාරණ වියදම්, වෙනත් බිල්පත් හා ගෙවීම ඇතුලත්ව. කොහොමින් කොහොම හරි මගේ හිතට ආවේ ශිෂ්‍යාගේ පැත්තෙන් මෙහෙම සල්ලි ගන්නා ඒක සාධාරණ නෑ නේද කියන ඒකයි. එකට මට හිතෙන හේතු නම් කීපයක්ම තියනවා.


1. බලයලත් නියෝජිතවරයෙක් වශයෙන් (Authorized agent) ඕනෑම නියෝජිතවරයෙක්ට තමන් විසින් සාර්ථකව (ඒ කියන්නේ වීසා ලබාගත්) ශිෂයෙක් වෙනුවෙන් අතිශයින්ම සාධාරණ කොමිස් මුදලක් ගෙවනු ලබනවා. ඒ මුදල ගෙවනු ලබන්නේ අදාළ ශිෂ්‍යයා වෙත තම අධ්‍යාපන ආයතනය රෙකමදාරු කිරීම (Promote the institute), කිසිදු මුදලක් අය නොකර අදාළ ආයතනය සමග සම්බන්ධවී ශිෂ්‍යා වෙත Offer letter (මම මේකට සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා නම් දන්නේ නෑ) එක ලබා දීම, ශිෂ්‍යාහට අදාළ රටට වලංගු වීසා නීති පිලිබදව අවබෝදයක් ලබා දීම හා ශිෂ්‍යාගේ වීසා අයදුම්කරණයට සහය වීම (මේක තමයි මෙතනින් බැරෑරුම්ම කාර්යය) යන ක්‍රියාවලීන සදහායි.


*මම මේ ගෙවීම අතිශයෙන්ම සාධාරණ බව කියන්නේ මොකද කියලා මට ඔයාලට කෙලින්ම ඉලක්කමකින් කියන එක මගේ වෘත්තීයේ හැටියට වැරදියි. ඒත් මෙහෙම හිතා ගන්නකො මම සාර්ථකව අවුරුද්දක් ඇතුලත යම් ආයතනයකට ශිෂ්‍යන් තුන දෙනෙක් සාර්ථකව ඇතුලත් කලොත් ඒ අවුරද්ද පුරාවටම මගේ මාසික ආදායම ඉලක්කම් හයක එකක්. නරකම නෑ නේද ?


2. යම්කිසි අයුරකින් අදාළ ශිෂ්‍යාගේ වීසා අයදුම්පත්‍ර අවලංගු වුවහොත් (Visa reject) අදාළ නියෝජිතවරයට ඇති පාඩුවක් වෙන්නේ නෑ, ඒත් ඒ ශිෂ්‍යාට වීසා ගාස්තු, ලිපිලේඛන සෑදීමට වියදම් කල මුදල් වගේම සමහර අවස්ථා වලදී මුල්‍යමය අනුග්‍රාහකත්වය (මේ වැඩේ නම් හරිම භයානක දෙයක්) වෙනුවෙන් වියදම් කරන මුදල් වශයෙන් අඩුමතරමින් රුපියල් 75,000 වගේ මුදලක් නැති වෙනවා.


අන්න  ඒ නිසා තමයි එකම ක්ෂේත්‍රයේ නියැලිලා හිටියත් මම ඔන්න ඔය අමතර ගාස්තුවක් (Registration fee, Documentation fee, etc) ගැනීමට විරුද්ද. ඒ නිසා ඔයාලත් පුළුවන් තරම් උත්සහ කරන්න ඒ වගේ අමතර මුදලක් ඔයාලගෙන් අය නොකර සුදුසු ඒජන්තවරෙක් තෝරා ගන්න. 
 

** ඊලග ලිපිය එන්නේ දැනට විදේශීය අධ්‍යාපනය පිලිබදව ප්‍රසිද්දියක් උසුලන රටවල් අතුරින් අපිට ගැලපෙන රට තෝරා ගැනීම පිලිබදවයි.

 

Tuesday, February 21, 2012

කොල්ලන් රට පැටවීම හා පරිසරයට අනුව හැඩගැසීම

ඔන්න අද හදන්නේ එක දවසක් මම මේ බ්ලොග් අතරම දැකපු විදේශ අධ්‍යාපනය ගැන මම දකින තත්වය හා යටින් පොඩි මාර්කෙටින් පාරක් ගෙනයන්නයි.



"විදේශයකදී ඔබේ දරුවාටත් උසස් අධ්‍යාපනයට අවසථාවක්" මෙන්න මේ වගේ ලොකු අකුරෙන් දාපු ලස්සන ලස්සන  වෙළද දැන්වීම ඔයාලා හැමෝම දැකලා ඇතිනේ. ඒ වගේම ගොඩාක් අය මේ වගේ තැන් වලට ගිහිනුත් ඇති. ඒත් එක දෙයක් තියනවා ලංකාවේ මේ ක්ෂේත්‍රයේ අවුරුදු ගානක් ඉන්න කෙනෙක් විදියට මම දැකපු දෙයක් තමයි ගොඩාක් දෙමවුපියෝ තමන්ගේ දරුවන්ව මේ මාර්ගයට ඇදලා දාන්නේ තනිකරම මෝඩ හේතු කීපයක් නිසා.අම්මලාගේබලකිරීමටම නෙමෙයි කොල්ලන්ගේ කෙල්ලන්ගේ බලකිරීමටම මේ මාර්ගයට ඇදෙන අම්මලා තාත්තලාත්ඕනේ තරම් ඉන්නවා.


සාම්ප්‍රදායික විදියට ඔය කතාව යන පිළිවෙල ගත්තොත් මේන් මෙහෙමයි.

1. තමන්ගේ හිතවතෙක් නෑදෑයෙක්ගේ හෝ ළමයෙක් ඔන්න රට ගියා කියමු ඔන්න එතකොට ගෙදර අම්මටත් ගහනවා ඔය පිස්සුව ගහන්නේ, රට ගියේ එහා පැත්තේ ගෙදර ළමයා නම් තත්වය බොහෝම උග්‍ර වෙනවා.

2. ඔන්න ඉතින් එහා ගෙදර හෝ නෑදෑයගේ ළමයා නිවාඩුවට ගෙදර එනවා. ඇවිත් ඉතින් අනේ අප්පේ ඔන්‍න‍ ඉතින් මේ ගෙදරටත් එනවා පිටරට ටොපි ටිකක් චොකලට් ටිකක් අරගෙන. ඔන්‍න‍ එතකොට තමයි 'නයා' එලියට පනින්නේ. "අෆ්ෆා එහේද ඇන්ටි, කියලා වැඩක් නෑ, දැන් මට කා එකකුත් තියනවා. ඉදලා හිටලා තමයි ඇන්ටි ජොබ් එකක් කරන්නේ, එහේ දවසක් වැඩ කරලා සතියක් ෆන් ඒකෙ ඉන්න පුළුවන්. මම ලගදීම එහෙන් ගෙදරකුත් අරන් දාන්නයි හිතන් ඉන්නේ"

3. ඔන්න ඔහෙම නයා දාන එකාගේ මේ රංගනයට මේ අම්මලත් කට අරගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉදලා අන්තිමට මෙන්න මෙහෙමත් කියනවා. "මාත් හිතන් ඉන්නේ පුතේ අපේ පුතාවත් ඔහෙට එවන්න කියලා තමයි, මෙහේ හිටියා කියල කිසිම වැඩක් හරියට කරන එකෙක් නෙමෙයිනේ" 

4. ඔන්න ඉතින් ආයෙත් අර නයා ඇරපු කොල්ලා ගෙදරින් යන්නේ මෙහෙමත් කියාගෙනයි. "අයියෝ එවන්න ඇන්ටි මම ලගට, මල්ලිට නවතින්න පුළුවන් මම ලගම, මම වැඩ කරන තැනම රස්සාව කරන්නත් පුළුවන්නේ"


5. ඔන්න ඉතින් ටික දවසකින් අර අම්මා තමන්ගේ කොල්ලවත් බේබි මහත්තයා වගේ අන්දාගෙන යනවා රට අරින තැනකට. එතන ඉන්න ටිකක් කොටට, හිරට ඇදගත්තු සිරියාවන්ත පුංචි මිස් හෝ කන්නාඩි දෙකක් දාගත්තු ටයි එකක් දාගෙන ඉන්න මහත්තයා මෙන්න මෙහෙම සුරංගනාලෝකයක් අර අම්මා ඉස්සරහා මවා පානවා. "අම්මා කිසිම දෙකට බය වෙන්න එපා. අපි යවන කොලේජ් එක තමයි ඒ රටේ අංක දෙකට තියෙන්නේ, ලෝකෙන්ම බැලුවොත් අංක හයට. ලෝකේ තියන අඩුම ගාස්තුවත් මේකේ තමයි. කොලේජ් එකෙන්ම රස්සාවක් සතියකින් හොයලා දෙනවා. ඒ රටේ වියදම විදියට මේ මල්ලිට දවසක් විතර වැඩ කරලා හොද සනීපෙට ඉන්න පුළුවන්. අනික එම්බසිය ඇතුලෙත් අපේ අය ඉන්නවා, අපි හරහා දැම්මොත් වීසා එක දවස් දහයෙන් ලැබෙනවා. බ්ලා බ්ලා...." 

6. ඔන්න ඉතින් අරන් අසරණ අම්මත් ඔය එක එකාගේ මෝඩ චූන් වලට රැවටිලා තියන යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් සේරම විකුණලා, තව වටේ ඉන්න අයටත් ණය වෙලා අර කොල්ලව රට පටෝනවා.

ඔන්න ඔතනින් පස්සෙයි මහත්තුරුනි අර කලින් බ්ලොග් ඒකෙ තිබ්බ පොස්ට් ඒකෙ විදියටම කොල්ලා ඒ රටේදී අසරණ වෙලා, අනාථ වෙලා සම්පූර්ණයෙන්ම මොලේ කොලොප්පන්ම වෙලා යන්නේ. මොකද මූ මේ රට ගැන මෙලෝ හසරක් දැනගෙන නෙමෙයි ඇවිත් තියන්නේ. ඒ මදිවාට නොම්මර ඒකෙ සුරංගනා විස්තර ටිකක් අහගෙනයි (අංක 2 හා 5) ඒ මදිවට අර නයා ඇරපු අයියා කොහෙද කියලා හොයාගන්නත් නෑ. එකා ලංකාවට ඇවිත් ගිහින් තියෙන්නේ ඊලග අවුරුද්දට සල්ලි ගෙවන්න සල්ලි ටිකක් අරන් යන්න (එහෙම ගෙවල් වලින් සල්ලි ගෙන්නාගෙන ජීවත් වෙන හාල්පාරුවෝ ඕනේ තරම් ඔය රටවල ඉන්නවා) හරියට කෑමක් කන්න, ඉන්න හිටින්න තැනක නැති ඒ අයියා කොහොමද තව මල්ලිලාට සලකන්නේ. බැලින්නම් ඒ අයියා දීලා තියන විස්තරත් සේරම බොරු.

ඔන්න ඉතින් අර ගෙදරට වෙලා උදේ තේ එක අතට ගෙනත් දීලා, කෑම එක මෙසේටම බෙදලා ඇදුමුත් අම්මලා ලව්වාම හොදා ගත්තු මේ කොල්ලාට වෙනවා අනේ දෙයියනේ බල්ලෙක් වගේ රස්සාවල් හොයාගෙන යන්නයි, (උගේ වෙලාවට රස්සාවක් ලැබුනොත්) මී හරකෙක් වගේ සීතලේ ගැහි ගැහී, හෝ අවුකාස්ටකේ තැම්බි තැම්බි ජීවත් වෙන්න උත්සාහයක යෙදෙන්න. 


හැබැයි ගොයියෝ ඒ වගේ දෙයක් දරාගන්න පුළුවන් ප්‍රමාණයකුත් තියනවා. ප්‍රශ්න ගොඩාක් තමන් වටේ ගොඩ ගැහෙනවා. ඊලග මාස හයට හෝ අවුරුද්දට කොලේජ් එකට ගෙවන්න සල්ලි හොයාගන්නත් ඕනේ, ඒ මදිවාට කොහෙන් හරි ආපු ඉන්දියන් කාරයෙක් හරි බංගලියෙක් හරි තමන්ගේ රස්සාවට තට්ටු කරයිද කියලා බයයි. ලොකුම දේ ඔන්න දැන් නීති වෙනස් වෙනවලු පුංච් පුංචි පාඨමාලා ඉවර කරපු අයට රස්සාවක් නැත්නම් PR එකට (ස්ථීර පුරවැසිභාවය) යන්න බැරි වෙන විදියට. ඔන්න ඉතින් මේ මානසික පීඩනයත් එක්ක ඉදලා හිටලා ගෙදරින් එන කෝල් එකකින් මෙහෙමත් ඇහෙනවා "ලොකු පුතේ ඉතින් ඔන්න අපි කොහොමහරි උඹනම් ගොඩ යැවුවා කොහොමහරි, දැන් ඉතින් උඹ මේ උඹේ මල්ලියි නංගියි ගැනත් බලන්න ඕනේ. උඹ දන්නවනේ අපි තිබ්බ සකලමනාවම විකුණලයි උඹව ඔය තත්වෙට ගෙනාවේ කියලා. දැන් ඉතින් කොහොමින් කොහොමහරි උඹ මුන් ගැනත් ඉස්සරහ බලපන්" 

අනේ දෙයියනේ ඕකට තමයි කියන්නේ ගැහෙන වැටුන මිනිහට ගොනත් අනිනවා කියලා. මොකද අම්මා දන්නේ නෑ මේ කොල්ලා මෙහේ විදින දුක, අම්මලාට ඒ ගැන කියලා තවත් දුකක් දෙන්නත් කොල්ලට බෑ. හැබැයි ඔය තත්වෙට වැටුන කොල්ල්න්ගෙනුත් බොහෝම පොඩි ප්‍රතිශතයක් තමයි සේරම දමලා ගහලා ලංකාවට යන්නේ. ඒ නිසා කොල්ලා කොහොමහරි ඔය රෝල ගහන්න පුළුවන් තත්වෙට හැඩගැහෙනවා. තමන් හම්බකරගෙන ආදායමේ හැටියට ජීවත් වීම වගේම හම්බ කරන මුදලින් යමක් ඉතුරුකරගෙන අනාගත වැඩපිළිවෙලකට (තවත් උසස් පාඨමාලාවක්, නැත්නම් වෙන යම වීසා එකක්) යොමු විය යුතුයි කියන දේට මේ කොල්ලා පුරුදු වෙනවා. තත්වය ආපහු සාමාන්‍ය වෙනවා. පරිසරයට අනුව හැඩගැසීම කියන තියරිය මේ හැමදේටම බලපානවා.

මම  මේ ගොඩාක් දේවල්කිවුවේ දැනට අවුරුදු ගානක ඉදන් අහන දකින දේවල් අනුවයි. මම හොදටම දන්නවා එක ළමයෙක්ට මම හරියට වීසා එක අරන් දීලා රට යැවුවොත් ඒ ළමයාගෙන් විස්තර දැනගෙන අඩුමතරමින් තව පස් හය දෙනෙක් හෝ මම ලගට එනවා කියන එක. ඒ එන බොහෝ දෙනෙක් එන්නේ තමන්ට මේ දේ ගැලපෙනවාද, තමන්ට මේ දේ කරන්න ආර්ථිකමය හැකියාවක් තියනවද කියන දේ ගැන හරි අවබෝධයක් නැතුවයි.


දැන් රටයන කොල්ලන්ගේ ජීවන චක්‍රය ගැන කෙරුණ ඒ විස්තරය නම් හමාරයි. ප්‍රතිචාර එහෙම කොහොමද කියලා බලලා 'වංචා වලට අහුනොවී, ප්‍රෝඩාවන්ගෙන් බේරිලා' තමන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන විදියට ඔය විදේශ අධ්‍යාපනයට තියන මාර්ග මොනවාද, ලංකාවෙන් යන ශිෂ්‍යන්ට මගදී අතරමං නොවී හරි තැනකට යන්න තියන අවස්ථා මොනවාද  කියලා ඊලග පොස්ට් එකෙන් කියන්නම්.